Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

අනාගතය ගැන නොපතන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම

අපි හැම දෙනාම කවුරුන් හෝ ඇසුරු කරමු. ඔවුන් හා ඇසුරට අප පත් වූයේ කෙසේදැයි බොහෝ විට අපි නොදනිමු. කවර හෝ අයුරකින් ඔවුන් හා ඇසුරට අප පත්ව සිටිමු. මේ අතරම නොයෙකුත් හේතූන් නිසා ඇසුරු කරනු ලබන සමහර අයගෙන් අපි ඈත් වෙමු. මෙහිදී වනුයේ එදිනෙදා එළඹෙන අවශ්‍යතා හෝ පරිසරය අනුව මෙම ඇසුරට පත්වීම සහ ඇසුරින් ඉවත්වීම සිදුවීමය. ඒ හැර ඇසුරට සුදුස්සන් හෝ නුසුදුස්සන් හෝ පිළිබඳව  තෝරා බේරා ගැනීමේ සිරිතක් අප අතර බොහෝ විට නොපවත්නා බව පෙනේ.

එහෙත් මෙම ආශ්‍රය සම්පූර්ණ ජීවිතයක් නොමගට හෝ සුමගට යොමු කරන්නක් බව බොහෝ දෙනා නොදනිති, නොසිතති. මෙම සිදුවීමට කාල නියමයක්ද නැත. ළදරුවෝ මාපිය ආශ්‍රයට අනුව ළමා කළ හැඩ ගැසෙති. සිසු අවදියේ පරිසරයට අනුවද එසේම ආශ්‍රයට පත්වන සම වයස්කයන් හා ආචාර්ය වරුනට අනුවද හැඩ ගැසෙති. බොහෝවිට ස්වාමි භාර්යා සම්බන්දතාව අනුවද  තරුණ වයසේදී සමහරු හැඩ ගැසෙති. වයස් ගත වූ කල්හිද ඇසුරට අනුව හැඩ ගැසීමේ සිරිතෙහි වෙනසක් සිදු  නොවේ.

මිනිසා පමණක් නොව ජාතියක් වුවද හැඩ ගැසෙනුයේ මෙම ආශ්‍රයට අනුව ම වන බව ඉතාමත් පැහැදිලි කරුණකි. ආශ්‍රිතයන් නිසා හැඩ ගැසුන ජාතියකට හොඳම නිදසුනකි සිංහල ජාතිය. ඔවුහු පළමුවෙන් බුදු දහමට අනුව හැඩ ගැසුනහ. අනතරුව උතුරු ඉන්දියානු ආර්ය වරුන්ට අනුව හැඩ ගැසුනහ. පසුව දකුණු ඉන්දියානු ද්‍රවිඩ වරුන්ට  අනුව හැඩගැසුනහ. පසළොස්වන සියවසෙන් පසුව යුරෝපීයයන්ට අනුව හැඩගැසුනහ. වර්තමානයේ තව තව අයට අනුවද හැඩ ගැසෙමින් සිටිති.

ආශ්‍රිතයන් නිසා ජාතියක් හැඩ ගැසෙන ආකාරය පිළිබඳව පර්යේෂණාත්මක නිබන්ධනයක් කළ යුතුය. එහෙත් එමගින් අපට එතරම් ප්‍රයෝජනයක් වේ යයි සිතිය නොහැක.

මෙහිදී බුදු දහම විසින් උගනවනු ලබන ආශ්‍රය පිළිබඳ  ඉතාමත්ම නිවැරදි මාර්ගය  අප හැම දෙනාටම තම ජීවිතය සාර්ථක කරගැනුමට  මහෝපකාරී වනු නියතය. සමාජ රටා හා විවිධවූ  ක්‍රම වලින් ලංකාව පිරී පවතී. එහෙත් එමගින් තම වටිනා ජීවිත අවුල් කර ගැනුම, බුදු දහම අදහන්නෙකුට  මහත්ම මදි කමකි.

ආශ්‍රය  පිළිබඳව බුදු රදුන්ගේ ඉගැන්වීම ඉතාමත් සැකෙවින් මෙහි දක්වා ඇත. ඒ අනුව ආශ්‍රයට සුදුසුම පුද්ගලයා තෝරාගෙන තම ජීවිතය සාර්ථක කර ගැනුමට ඔබ සමත් විය යුතුය. මේ සඳහා මෙම කෙටි ධර්ම සංග්‍රහය ඔබට මහෝපකාරී වනු ඇතැයි විශ්වාස කරමු.

ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම

"ඇසුරු කිරීම" යන්නෙහි අදහස කුමක්ද? යි අප විසින් සළකා බැලිය යුතු වෙයි. අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතයට අයත් ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දේශනාවේදීම තථාගතයන් වහන්සේ මෙම කරුණු ද මැනවින් පැහැදිලි කරන සේක. ඒ මෙසේය.

  1. පළමුවෙන්ම ආශ්‍රයට සුදුසු තමාට වඩා ගුණයෙන් සපිරුණ "හිතවත් මිතුරෙකු" සොයා ගත යුතුය.
  2. ඔහු වෙත දකින්නට ලබෙන උසස් ගුණ ධර්මයන් අවංකවම හඳුනා  ගැනුම හා පිළිගැනුම කළ යුතුය.
  3. අනතුරුව එම කල්‍යානමිත්‍රයා හා නිතර ගැවසෙමින් සේවනය කරමින් කථාබස් කරමින් ඔහු අනුගමනය කිරීමට උත්සාහ කළ යුතුය.
  4. ඔහුගේ සැදැහැවත් ගති පැවතුම්, ශීලාචාර  කථාබහ, නිර්ලෝභීව කරනු ලබන ධන පරිත්‍යාග, විනීත වූ හැසිරීම්, නැණවත්වූ චින්තනයන් හා ක්‍රියාවන් ආදිය ආදර්ශයට ගනිමින් එම උදාර වූ ගුණ ධර්ම තමන් වෙතද බෝකරගැනුම පිණිස  නිරතුරුවම උත්සාහ කළ යුතුය.

ඇසුරට සුදුස්සන් කවුද?

 ඇසුරට සුදුසු මිතුරන් වන්නේ සත්පුරුෂයෝසහ කල්‍යාණමිත්‍රයෝමය. ඔවුන්ගේ ගුණ සහ ලක්ෂණ සවිස්තරව මෙම වෙබ් අඩවියේ සඳහන්ව ඇත. කරුණාකර එම විස්තර කියවා බලන ලෙස ඔබට ආරාධනා කරමු.     

ඇසුරට නුසුදුස්සන් කවුද?

ඇසුරට නුසුදුස්සන් වන්නේ අසත්පුරුෂයන්ය. තථාගතයන් වහන්සේ අසත්පුරුෂයා පිළිබඳව කළ විස්තර කථා සූත්‍ර පිටකයේදී හමුවෙයි. එම ඉගැන්වීම් වලට අනුව අසත් පුරුෂයාගේ ගති පැවතුම් මෙබඳු වෙති.

  1. සැදැහැයෙන් තොර බව
  2. කවර හෝ සීල ගුණයක් වත් නොමැති බව
  3. මසුරු බව
  4. නුවණින් තොර බව
  5. වංක බව
  6. අනුන් ගුණ නොහඳුනන බව
  7. කළගුණ නොසලකන බව
  8. පස්පව්, දස අකුසල් කිරීමට බියක් ලජ්ජාවක් නැති බව
  9. උත්සාහයෙන් අධිෂ්ඨානයෙන් තොර බව  
  10. තමන් ගැනම පමණක් සිතන බව
  11. මිසදිටු බව
  12. පින් පවු නොහඳුනන බව
  13. මත්පැන් ආදියට ලොල්බව
  14. පස්කම් සුවයටම ගිජු බව
  15. ඇතුලතින් හා පිටතින් ගුණයෙන් හා නුවණින් පිරිහෙන බව
  16. තමන් වෙත වූ දුර්ගුණයන් නොයෙක් අයුරෙන් ඇසුරු කරන්නන් හට ද බෝ කරවන අධම පුරුෂ ගතිය

ආදී වූ ගති පැවතුම් මෙම පුද්ගලයන් වෙත දැකිය හැක.

ආශ්‍රය  පිළිබඳව බුදු රදුන්ගේ ඉගැන්වීම ඉතාමත් සැකෙවින් මෙහි දක්වා ඇත. ඒ අනුව ආශ්‍රයට සුදුසුම පුද්ගලයා තෝරාගෙන තම ජීවිතය සාර්ථක කර ගැනුමට ඔබ සමත් විය යුතුය. මේ සඳහා මෙම කෙටි ධර්ම සංග්‍රහය ඔබට මහෝපකාරී වනු ඇතැයි විශ්වාස කරමු.


පුජ්‍ය නරමානේ බුද්ධරක්ඛිත හිමි

1993 වෙසක් පුර පසළොස්වක දින