Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

කිසිවෙකුට ප්‍රිය නොකරන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

පණ්ඩිතයා යනු..

මහා මංගල සූත්‍රයේ මුලින්ම සඳහන්ව ඇති "අසේවනාච බාලානං" යන ගාථාවෙන් දක්වා ඇත්තේ බාලයන් ආශ්‍රය නොකොට, පණ්ඩිතයන් ආශ්‍රය කිරීම සහ පිදිය යුත්තන් පිදීම මංගල කරුණු බවයි.මෙහි දක්වා ඇති බාලයා යනු, නපුරු සිතුවිලි සිතන, නපුරු වචන කියන, නපුරු ක්‍රියාකරන තැනැත්තාය. ඔහුගේ මෙම බාල ලක්ෂණය නිසාම ඔහු මෙලොව හා පරලොව යනදෙකම විනාශ කර ගනී. 

ලෝකයට සියලු දුක්, විපත් හා කරදර සිදුවන්නේ බාලයන් නිසාය. බාලයන් තමා ආශ්‍රය කරන අයද බාල තත්වයට හෙලා පවුකාරයන් කරන්නේය. බාල ආශ්‍රයෙන් අපේ ධනය, ඥානය, ගුණය ආදිය පිරිහේ. බාල ආශ්‍රය පාප මිත්‍ර සේවනයයි. බාලයා අසත්පුරුෂයෙකු ලෙසද හැඳින්විය හැක. ආශ්‍රය කළ යුතු පණ්ඩිතයා යනු යහපත් සිතිවිලි සිතන, යහපත් වචන කථා කරන, යහපත් ක්‍රියා කරන තැනැත්තාය. පණ්ඩිතයා යනු සත්පුරුෂයා වශයෙන්ද හැඳින්විය හැක. එමනිසා පණ්ඩිතයන් ආශ්‍රය කිරීම කල්‍යාණ මිත්‍ර සේවනයක්ද වන්නේය. 

බාලයා මෙන් නොව පණ්ඩිතයා තමාගේ සහ තමා ආශ්‍රය කරන්නවුන්ගේ මෙලොව සහ පරලොව යහපත පිණිස ක්‍රියා කරයි. මේ නිසා පණ්ඩිතයා යනු සත්පුරුෂයෙකු මෙන්ම කල්‍යාණ මිත්‍රයෙකු වශයෙන්ද හැඳින්විය හැක. 

ලෝකයේ අති උත්තම පණ්ඩිතයන්, සත්පුරුෂයන් සහ කල්‍යාණ මිත්‍රයන් වන්නේ බුදු, පසේබුදු සහ මගඵල ලැබූ ආර්ය ශ්‍රාවකයන්ය. ඉන් අනතුරුව සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා, සිල්වත් ගුණවත් උපාසක උපාසිකාවන්, ගුණ සම්පන්න ආචාර්ය වරුන්, ගුණ සම්පන්න වැඩිහිටියන් යන පිරිස දැක්විය හැක. 

ශිල්ප උගත් නමුත් කළයුත්ත, නොකළයුත්ත නොදන්නාවූද, පින් පවු නොදන්නාවූද, තමාගේත් අනුන්ගේත් දෙලොව පරිහානියට කටයුතු කරණ පාපී පුද්ගලයන් කිසිසේත් ඔවුන්ගේ එම උගත්කම් නිසා පණ්ඩිත ගණයට නොගැනේ. ඔවුහු බාලයෝය. නින්දා කරණ අදහසින්  නොව, අනුග්‍රහ බුද්ධියෙන් අනුන්ගේ වරද දැක නිග්‍රහ කොට අනුසාසනා කරණ පණ්ඩිතයන් සේවනය කොට දෙලොව දියුණුව සාදා ගත යුතුය. 

ආශ්‍රයේදී අපට ලැබෙන පුද්ගලයන් තුන්දෙනෙකි. 

1.ශීල, සමාධි, ප්‍රඥා යන තුනින් තමාට වඩා හීන පුද්ගලයා:
මොහු ආශ්‍රය නොකිරීම මැනවි. ආශ්‍රය කරනවානම් කලයුත්තේ අතේ දුරින් තබාගෙන, ඔහු යහමගට ගැනීමේ අදහසින්, කරුණාවෙන් හා අනුකම්පාවෙන් යුතුවය.

2.ශීල, සමාධි, ප්‍රඥා යන තුනින් තමා හා සමාන පුද්ගලයා: 

මොහු ආශ්‍රය කිරීම සුදුසුය. එමගින් ඔහුගේද, අපගේද යන දෙපාර්ශවයේම යහපත සිදුවේ. 

3.ශීල, සමාධි, ප්‍රඥා යන තුනින් තමාට වඩා උසස් පුද්ගලයා: 

ගෞරව දක්වමින්, සත්කාර කරමින්, ආශ්‍රය කළ යුතුය. එම ආශ්‍රය නිසා තමාගේ ශීල, සමාධි, ප්‍රඥා යනාදීන් දියුණු කොට මෙලොව උසස් දියුණුවක් ලබාගත හැක.