Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

මවුපිය උරුම බලපොරොත්තු නොවන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව මූලික දැනුමට සත්පුරුෂයා යනු..

සත්පුරුෂයා යනු..

 සත්පුරුෂයා කවරෙක්ද යන්න මුලින්ම හඳුනා ගත යුතුය. ඉතා සරල ලෙස කීවොත් සත්පුරුෂයා යනු සිත, කයසහ වචනය යන තුන් දොර සංවර කරගෙනයහපත් දේ කරන පුද්ගලයාය. 

 

බුදුරජානන් වහන්සේ ඉතා කෙටියෙන් සත්පුරුෂයා හඳුන්වා ඇත්තේ “සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය ආදී කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති තැනැත්තා” වශයෙනි(අසප්පුරිස සූත්‍රය, සංයු 5.1 - 32 පිට)

 

බුදු දහමට අනුව සත්පුරුෂයා පිළිබඳ දැනීම අත්‍යාවශ්‍ය වන්නේ සෝවාන් වීමට ඇති අංග 4න් පළමු වැන්න සත්පුරුෂයන් ආශ්‍රය කිරීම වීම නිසාය.

 

මේ නිසා නිවන් දැකීමට අතිශයින්ම උපකාර වන මෙම සත්පුරුෂයා හඳුනා ගන්නේ කෙසේද බලමු. 

සත්පුරුෂයා  

  1. සත්පුරුෂ ධර්මයෙන් යුක්ත වෙයි: ශ්‍රද්ධාව-හිරි ඔතප්ප-බහුශ්‍රැත-එළඹසිටි සිහිය-ප්‍රඥාව ඇත්තේ වෙයි.
  2. සත්පුරුෂයන් සෙවුනේ වෙයි
  3. සත්පුරුෂ සිතිවිලි අත්තේ වෙයි: තමන්ට හෝ අනුන්ට හෝ දෙපිරිසටම හෝ පීඩා පිණිස හෝ නොසිතයි.
  4. සත්පුරුෂ කථා ඇත්තේ වෙයි: තමන්ට හෝ අනුන්ට හෝ දෙපිරිසටම හෝ පීඩා පිණිස සාකච්ඡා නොකරයි.
  5. සත්පුරුෂ සාකච්ඡා ඇත්තේ වෙයි
  6. සත්පුරුෂ ක්‍රියා ඇත්තේ වෙයි: ප්‍රාණඝාතාදියෙන් වැළකෙයි.
  7. සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි: දානය, සීලය ආදියේ විපාකද සහ මෙලොව පරලොව ආදියද පිළිබඳව සම්‍යක් දෘෂ්ටියෙන් යුතුවෙයි.
  8. සත්පුරුෂ දාන ඇත්තේ වෙයි: සකසා දන් දෙයි, ගෞරවයෙන් දන් දෙයි, සියතින් පිරිසිදුව දන් දෙයි, විපාක ලැබෙයි යන දෘෂ්ටි ඇතිව දන් දෙයි.  

සූත්‍ර පිටකයේ ඇතුලත් සූත්‍ර රාශියක සත්පුරුෂයා පිළිබඳව කරුණු මෙසේ දක්වා ඇත.  

v“මාතා පෙත්ති භරං ජන්තුං...” යන ගාථාවේ සඳහන් පරිදි 

 

  1. කුල දෙටුවන් පුදන,
  2. මෘදු තෙපුල් කියන,
  3. කේළමින් වැළකුණු,
  4. මසුරු මල දුරු කරන,
  5. සැබෑ තෙපුල් කියන,
  6. ක්‍රෝධය මැඩලන 

සුළු කෙනා ඒකාන්තයෙන්ම සත්පුරුෂයෙකැයි තවුතිසා වැසි දෙවියෝ කියති. (සංයු 1- 406 පිට)   

vසත්පුරුෂයා සතු සත්පුරුෂ ධර්ම නම්,  

  1. කුලය නිසා තමන් හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.
  2. උදාර වූ භෝග සම්පත් නිසා,
  3. පරිවාර සම්පත්තිය නිසා,
  4. ලාභය නිසා
  5. බහුශ්‍රැත බව නිසා,  
  6. විනයබර බව නිසා
  7. ධර්ම කථික බව නිසා
  8. පාංශුකූලික බව නිසා,
  9. පිණ්ඩපාතික බව නිසා
  10. රුක්ඛමූලික බව
  11. ඒකාසනික බව නිසා,
  12. ප්‍රථමධ්‍යානය ලැබීම නිසා
  13. ද්විතීය, තෘතීය චතෘව ධ්‍යාන නිසා,
  14. ආකාසන කුඤ්චායනාදී අරුපාවචර ධ්‍යාන ලැබීම නිසා තමා හුවා දැක්වීමක් හෝ, අන් අය පහත්කොට සැලකීමක් නොකෙරේ.                                                                                   (ම.නි. 3 -පිට - සප්පුරිස සූත්‍රය) 

vසත්පුරුෂයාගේ ලක්ෂණ. 

 තමාගේ වගකීම හොඳින් ඉටු කරයි.

  1. මවුපියඅඹුදරුසේවකඥාතීශ්‍රමණ බමුණන්ට සුදුසු ලෙස යුතුකම් ඉටු කරයි.
  2. අනුන්ගේ උපකාර බලාපොරොත්තු නොවේ.
  3. ආධ්‍යාත්මික ගුණ දියුණු කරයි.
  4. කායවාචීමනෝ කර්ම නිවැරදිව කරයි.
  5. ඔහු අත ගසන සෑම ක්‍රියාවක්ම සත්පුරුෂ ක්‍රියාවකි.
  6. ආර්ය ශීලආර්ය සමාධිආර්ය ප්‍රඥාව තේරුම් ගෙන අනුගමනය කරයි.
  7. සාරාණීය ධර්ම පුහුණු කරයි.(අංගුත්තර නිකාය- සත්පුරුෂ සූත්‍රය ) 

v“මහරජ, සත්පුරුෂයා මහත් භෝග ලැබ, තමාත් මවුපියනුත්, අඹුදරුවනුත්, දැසිකම්කරුවනුත්, මිතුරනුත් සහායකයනුත් සුවපත් කෙරෙයි, පිනවයි. මහණ බමුණන් කෙරෙහි මතු ඵල ලැබ දෙන, සුගතියට හිතවූ දන් පින් කම් කෙරෙයි.”             (සංයු 1. 166 පිට) 

vසාරභංග ජාතකයෙන්  

1.සියල්ලන් විසින් කියන ලද පරුෂ වචනය ඉවසීම, ඉතා උතුම් ඉවසීම යයි සත්පුරුෂයන් කියති. 

2.ඉවසන සුළු සත්පුරුෂයා යම් අර්ථයක් ලබයිද, යුද්ධයට ගිය රජු සහිත සේනාවද, මෙබඳු අර්ථයක් නොලබති. ඉවසීමේ බලයෙන් වෛරයෝ සන්සිඳෙත්. 

3.යම් නුවණැත්තෙක් කළගුණ දන්නේ, කරන ලද උපකාර සළකන්නේ, යහපත් මිතුරන් අත්තේ, දැඩි භක්තියක් ඇත්තේද, දුකට පැමිණියාවූ තම යහළුවාගේ කටයුත්ත සකස් කොට කෙරේද, එබඳු පුද්ගලයා සත්පුරුෂයා යයි කියත්.(සාරභංග ජාතකයෙන්) 

  සත්පුරුෂයෙකු වීමෙන් ලැබෙන ප්‍රතිඵල නම්;  

  • ඉහත සඳහන් කළ පරිදි සම්මා දෘෂ්ටි ආදී වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැඳින වඩන බැවින් ඔහුට නිවන ලැබේ.
  • ඔහුගෙන් ලොවට විශාල ශාන්තියක් උපකාරයක් වේ.
  • මරණයෙන් පසු මහේශාක්‍ය දෙවියකු හෝ මනුස්සයෙකු (දේව මහනකනාව, මනුස්ස මහනකනාව) ලෙස ඉපදීමට ලැබේ  (මජ්ඣම නිකාය, 3-128 පිට,චූල ..... සූත්‍රය )  

සුදුසු කළට වසින මහා වර්ෂාව බොහෝ දෙනාගේ සැප පිණිස හෙතුවේ. එසේම යම් කුලයකයම් පවුලක සත්පුරුෂයෙකු ඉපදුනොත් ඒ පවුලට පමණක් නොවසමස්ත ලෝකයටම සැපතක්දියුණුවක් උදාවේ. මේ අනුව සත්පුරුෂයා මුළු ලෝකයටම ශාන්තියකි.  

බුදුරජානන් වහන්සේ ලොව පහලවූ ශ්‍රේෂ්ටතම සත්පුරුෂයානෝය. උන්වහන්සේ අනුව යමින්නිවන් මග හෙලි පෙහෙලි කර ගැනීමට උත්සාහ කරන උපාසක උපාසිකාභික්ෂු භික්ෂුනී යන සිවු පිරිසම සත්පුරුෂයින් බවට පත්විය යුතුමය. එනම් බෞද්ධ වූ අපි සියලු දෙනාම සත්පුරුෂයින් බවට පත්විය යුතු වෙමු. 

තවද අප හැම විටම ධර්මය මෙන්ම සත්පුරුෂ ගුණ ධර්ම ද අගය කළ යුතුය. එවිටයි දහමට වැඩි පිරිසක් යොමු වීසත්පුරුෂයන් බවට පත්වීමෙලොව පරලොව දියුණුව මෙන්ම නිවනද ලබා ගන්නේ.

 

සත්පුරුෂ ඇසුර ගැන

 

වරක් දෙවියන් සය දෙනකු අතර මත ගැටුමක් හට ගත්තා. ඒ සත්පුරුෂ ඇසුර ගැනයි. සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ලැබෙන ආනිශංස ගැන ඔවුන් මත හයක් දැරුවා. එක් මතයක් වූයේ සත්පුරුෂ ඇසුරින් දියුණුව සැලසෙන බවයි. තවත් මතයක් වූයේ සත්පුරුෂ ඇසුරින් ප්‍රඥාව දියුණුවන බවයි. තවත් අයකු පැවසුවේ ශෝකය නැතිවන බවයි. ඥාතීන් මැද බැබළීමට හැකි බව තවත් මතයක් වුණා. සුගතියට හෙවත් දිව්‍ය සැප සම්පත් ලබන්නට හේතුවන බව තවත් මතයක් වුණා. දීර්ඝායුෂ ලැබෙන බව හයවන මතය වුණා. අවසානයේ නිසි පිළිතුරු සොයා ගැනීමේ අදිටනින් ඔවුහු බුදුරජාණන් වහන්සේ හමුවුහ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ එම කරුණු හයම සත්‍යය බවත් ඊට තවත් කරුණක් එක්විය යුතු බවත්ය.ඒ සසර අවසන්කර ගැනීමට සත්පුරුෂ ඇසුර හේතුවන බවයි.