Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

කිසිවෙකුට ප්‍රිය නොකරන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

කල්‍යාණමිත්‍ර සම්පත්තිය

 

සාර්ථක වූ සෑම ජීවිතයකම පසුපස හොඳ මිතුරෙක් සිටී. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම හොඳ නරක මිතුරන් සිටී. මිත්‍රත්වය යනු කෙනෙකු රූපයෙන් පමණක් දන හඳුනා ගැනීම නොවේ. නියම තිරසාර හඳුනාගැනීම තමා යමෙකු සිතින් සිත හඳුනා ගැනීමයි. එසේනම් මිතුරුකම ඇත්තේ තරහ නැති සිතකයි. තරහ ඇති සිතක මිතුරුකමක් නොපවතී. ආර්යයන් වහන්සේලාට හැර ඉන් මෙහා අයට සිත නොවෙනස්ව පවත්වා ගැනීම ඉතාම දුෂ්කරවූවත් සිතේ තරහ නැති සිතේ මිතුරුකම, මෛත්‍රිය ක්‍රමයෙන් උත්සාහයෙන් ගොඩනගා ගත යුතුය. මේ මෛත්‍රිය දරුවන් ඇති අම්මා කෙනෙකුගේ දරු සෙනෙහසට අපේ සම්බුදුරදුන් සමාන කොට ඇත්තේ මෙසේය. 

"මාතා යථා නියං පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්ඛෙ 

                                                   ඒවං පී සබ්බ භූතේසු මානසං භාවයෙ අපරිමාණං" 

මවක් තමාගේ එකම පුතුට දක්වන සෙනෙහස මෙන් සියලුම සත්වයන් පිළිබඳ වූ තරහ අප්‍රිය අමනාපයෙන් තොරව සෙනෙහස මෛත්‍රිය දැක්විය යුතුය. 

මිතුරා යනු කවරෙක්දැයි හඳුනාගත් අපි කල්‍යාණ මිත්‍රයා යනු කවරෙක්දැයි දැන් හඳුනා ගනිමු. කලණ මිතුරුගේ ඇති විශේෂත්වය නම් සද්ධා, සීල, සුත (බහුස්සුත), ත්‍යාග, ප්‍රඥා යන ගුණයෙන් යුක්ත වීමයි. 

බුද්ධාදී තුරුණුවන් පිළිබඳ කරුණු කාරනා දැන ඇතිකරගත් පැහැදීම ශ්‍රද්ධාවයි. සීලය යනු තමන්ගේ කය වචන දෙකේ මනා සංවරයයි. සුත භාවය යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවයි. අධික ප්‍රමාණයක් අසා කියවා ඒ අනුව ජීවිතය සදාගෙන ඇති බවයි. ත්‍යාගය යනු පරිත්‍යාගයයි. ගැනීමට වඩා දීමට ඇති කැමැත්තයි. ප්‍රඥා යනු අත්දැකීම් බහුල බවයි. මේ කියන ගුණ වලින් ආදර්ශමත් මෙන්ම ආසීර්වාදාත්මකව ගොඩනගාගත් පිරිපුන් ජීවිතයක් ඇත්තායි. 

මේ අනුව ඉහලම කල්‍යාණ මිත්‍රයන් වන්නේ බුදු, පසෙබුදු, මහරහත් යන ආර්යයන් වහන්සේලායි. එතැන් සිට අනුපිළිවෙලින් එම ගුණදහම් වඩන, වැඩීමට උත්සහ කරන එකක් දෙකක් හෝ ජීවිතය තුලින් දැකිය හැකි උතුමන් මේ පිරිසට අයත් වෙයි. බාහිරව සිටින අන් අයගේ මේ ගුණ සෙවීම පසක තබා පළමුව තමන් ඒ ගුණ ඇත්තන් බවට පත්වන්නට ජීවිතය ඇප කැප කළ යුතුයි. පළමුව තමා තුලින් කල්‍යාණ මිතුරන් දැකීමටයි උත්සාහ කළ යුත්තේ. 

අද කල්‍යාණ මිත්‍රයන් ප්‍රාර්ථනා කරන්නට නම් බොහෝ දෙනා පුරුදු වී සිටිති. මෙය සිදුවෙන වැඩක් ලෙසයි ඇතැම් අය සිතාගෙන සිටින්නේ. මේ හොඳ මිතුරන් පරලොවද හමුවන්නට කරන උත්සාහය ගැන ටිකක් සිතා බලන එකයි වඩාත් හොඳ. ඔවුන් කොපමණ හමුවුවත් තමාත් එම සුදුසුකම් ටිකක් හෝ ලබා නැත්නම් ඒ හමුවීමෙන්ද ලබෙන ලාභයක් නම් නැත. එමනිසා අනුන්ගේ ගුණ ධර්මයගෙන් මිතුරුකම්වලින් ලැබෙන ඵල විපාක ටිකක් අමතක කොට තමන්ගේ මිතුරුකම් අද මේ මොහොතේ සිටම දියුණු කරගන්නට උත්සාහ කිරීමයි වඩා හොඳ. 

කල්‍යාණ මිත්‍රයාගේ තවත් විශේෂ ලක්ෂණයක් නම් කොපමණ බාධා අවහිරකම් හා නොපිළිගැනීම් අතිවූවත් තමා අනුන් වෙනුවෙන් කරන මහඟු සේවාව නතර කර දමා කළකිරීමට පත් නොවීමයි. මේ අනුව බෝධි අංගයන් නියම අයුරු වඩන්නා තමන්ටත් ලෝකයටත් හොඳ මිතුරෙක් වීම අවශ්‍යයි.