Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

අනුන්ගේ ක්‍රියාවන් ගැන පිරිසිදු අපිරිසිදු බව ගැන නොසොයන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

සද්පුරුෂයෝ

සද්පුරුෂයෝ

විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු දේවත්වයෙන් සැළකුවේ ඔවුන්ගේ අනවබෝධය නිසා නොව තමන්ට ජීවත්වීමට උපකාරි වන මේ ස්වභාව ධර්මයට කෘතවේදිත්වය දැක්වීම උදෙසායි. කුඹුරේදී හිස් වැසුම් පා වැසුම් නො පැළැන්දේ මේ හේතුවෙනි. බෝග අසුරන විට, ආහාර පිසින විට, ආහාර බෙදන විට එයට තුන්වරක් වැන්දේ කෘතවේදිත්වය සඳහායි.

 සද් යනු යහපත්, හොඳ, විශිෂ්ට යන අරුත් දෙන උපසර්ග පදයකි. සද්පුරුෂ යනු යහපත්, විශිෂ්ට හොඳ මිනිසා යන්නයි. විශිෂ්ටයකු වීම සැමදෙනාගේ ම ප්‍රාර්ථනයයි.

 කේවලා හෙසා භික්ඛවෙ සප්පුරිසභූමි, යදිදං කතඤ්ඤුතා කතවේදිතා

මහණෙනි, සත්පුරුෂයකු හඳුනා ගත හැකි ආකාර දෙකකි. කළ උපකාරය සිහිපත් කරන්නා, හා කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නා යි

සත්පුරුෂයකු විය හැකික්‍රම දෙකකි.

1. කළ උපකාරය සිහිපත් කිරීම
2. කළ උපකාරයට ප්‍රති උපකාර දැක්වීම

සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී කෙළෙහි ගුණ දැක්වීම යන්නෙන් අදහස් කරනුයේ මෙම සද්පුරුෂ ගුණයයි. සද්පුරුෂයකුවීම, සද්පුරුෂයකු දැකීම අතිශය දුෂ්කර හා දුර්ලභ අවස්ථාවක් බව බුදුරජාණන් වහන්සේ දක්වති.

කතඤ්ඤු කතවේදි පුග්ගලෝ දුල්ලභෝ ලොකස්මිං කළ උපකාරය සිහිපත් කරන හා කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන පුද්ගලයෝ ලොවෙහි දුර්ලභ වෙති යනු බුදු වදනයි.

ලොව විශිෂ්ට වූ බුදු, පසේ බුදු, මහ රහත් යන උත්තමයෝ සත්පුරුෂයෝ වෙති. එය උතුමන්ගේ චරිත තුළින් මනාව ප්‍රකට කෙරෙයි. අපගේ බුදු පියාණන් වහන්සේ බුදු බව ලැබීමට පාරමී ධර්ම පූරණය කරන අවධියේ දීද සද් පුරුෂ ගුණ සිත දැරූ බව ජාතක කතා පොත් වහන්සේ තුළින් මනාව ප්‍රකටය. මහා අස්සාරෝහ ජාතකය තුළින් මෙය මනාව පැහැදිලි වෙයි.

උන්වහන්සේ දඹදිව රජ කුලයක ඉපිද සිටි අවස්ථාවේ සතුරු සේනාවට අසුව පැන යන්නට විය. එහි දී එක් පසල් දනව්වක ගම්වැසියෙකු එතුමන්ට දින කිහිපයක් ආරක්‍ෂාව සපයයි. නැවත රාජ්‍ය බලය ලබා ගන්නා එතුමා උපක්‍රමශීලිව තමන්ට උපකාර වූ මිනිසා හා ඔහු ගේ පවුලේ උදවිය රජ මාලිගයට කැඳවා රාජ්‍යයෙන් අඩකට ඔහු ද රජ කොට පාලනය කරයි. මෙය බෝසත් අවධියේ උන්වහන්සේ සද්පුරුෂ ධර්මය රැකි එක් අවස්ථාවකි. මෙවන් අවස්ථා ජාතක පොතෙහි බොහෝ දක්නට ලැබෙයි.

බුදුබව ලැබීමෙන් අනතුරුව සත් සතිය ගත කළහ. එහි දී උන්වහන්සේ තමන්ට බුදු බව ලබා ගැනීම උදෙසා උපකාරී වූ පරිසරයට කෘතවේදි බව දැක්වූහ. අනිමිස ලෝචන පූජාව මීට කදිම සාක්ෂියකි. බුදුරජාණන් වහන්සේ මුලින් ම අප වෙත දැක්වූ ධර්මය මේ අනුව ගත් විට කෘතවේදිත්වය හා කෘතඥතාවයි. ජීව, අජීව, අචින්තක, සචින්තක, භෞතික අභෞතික මේ සියල්ල කෙරෙහි කෘතවේදීව, කෘතඥතාවයෙන් යුක්තව විසිය යුතු බව උන්වහන්සේ මේ තුළින් ලොවට ප්‍රකට කළහ.

බුදු දහම සමාජ සංස්ථා ගොඩනගා එම සමාජ සංස්ථාවන්ට යම් යම් වගකීම් පවරා ඇත. එසේ පවරන වගකීම් තුළින් සමාජය කෘතවේදිත්වයට හා කෘතඥතාවට යොමු කොට ඇත. මව්පියෝ දරුවන් හදා වඩා ගනිමින්, වරදින් මුදා යහපතෙහි යොදවා ඔවුන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වා ලොකු මහත්කොට ආවාහ විවාහ කර දී දේපළ පවරා ඔවුන්ගේ ජීවන අභිවෘද්ධිය ඉටු කළ අතර දරුවෝ මව්පියන් මහලු වූ විට ඔවුන්ට ඇප උපස්ථාන කරමින් ඔවුන්ගේ කුදු මහත් කටයුතු ඉටු කළහ. මේ නිසා බෞද්ධ සමාජය තුළ වැඩිහිටි නිවාස, ළමා නිවාස, අනාථ නිවාස බිහි නොවීය. මෙලෙසම ගුරුවරු සිසුන් මැනවින් හික්මවමින්, වරදින් මුදා යහපතෙහි යොදවා මැනවින් ශිල්ප ශාස්ත්‍ර ලබා දුන් අතර, සිසු දරුවෝ ගුරුවරුන්ට කෘතවේදි වෙමින් ගුරුන්ට ගරු සත්කාර සම්මාන දක්වමින් මැනවින් ශිල්ප උගත් හා බිරිඳ ස්වාමියාට ගරු කරමින් ඔහු වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් ඉටු කරමින් ඔහුට ශක්තියක් වූ අතර ස්වාමි පුරුෂයාද බිරිඳට ගරුකරමින් ඇයට ඇප උපස්ථාන කළේය. පාලකයෝ පාලිතයන්ටත් පාලිතයෝ පාලකයන්ටත් තම යුතුකම ඉටු කළහ. ගිහියෝ පැවිද්දන්ට මෛත්‍රී සහගතව සිව්පසයෙන් උපස්ථාන කළහ. පැවිද්දෝ ගිහියන්ගේ මෙලොව පරලොව සුභ සිද්ධිය සඳහා අනුශාසනා පැවැත් වූහ. එය බුදුරාජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අවධාරණය කළහ.

ගිහීන මුපකාරොන්තං - නිච්චමාමිස දානතො
කරොථ ධම්ම දානෙන - තෙසං පච්චූපකාරකං

නිතර සිව්පසයෙන් උදව් කරන්නාවූ ගිහි පිරිසට ප්‍රතිඋපකාරයක් වශයෙන් ධර්ම දානයෙහි යෙදෙන්න. උන්වහන්සේ ගේ අවවාදය වූහ. මේ නිසා බෞද්ධ සමාජය කෘතවේදි සමාජයක් විය. කෘතඥතාව පිරි සමාජයක් විය. සත්පුරුෂ සමාජයක් විය.

මනුෂ්‍යයන්ට පමණක් නොව සතා සිව්පාවට ද ඒ කෘතවේදිත්වය එලෙස දැක්වීය. උන්වහන්සේ පඤ්ච ශීල ප්‍රතිපදාව තුළින් මේ ජීව හිතවාදි බව ප්‍රකට කරයි. සැම දෙනාගේ් ජීවිත සඳහා හැම දෙනාම උපකාරි වෙයි. එසේ නම් අනිකා කෙරෙහි සැළකිලිමත්ව කටයුතු කළ යුතු යි. කරණීයමෙත්ත, මංගල, ආදී සූත්‍ර දේශනා තුළින්ද මේ ජීව හිතවාදි සමාජ උපකාරි සමාජයකට ආදර්ශයට ගත හැකි දේශනා ඇත.

ආදි කාලීන බෞද්ධ සමාජය මේ පද්මාකාර ආකෘතියේ සමාජයක් විය. විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු දේවත්වයෙන් සැළකුවේ ඔවුන්ගේ අනවබෝධය නිසා නොව තමන්ට ජීවත්වීමට උපකාරි වන මේ ස්වභාව ධර්මයට කෘතවේදිත්වය දැක්වීම උදෙසායි. කුඹුරේදී හිස් වැසුම් පා වැසුම් නො පැළැන්දේ මේ හේතුවෙනි. බෝග අසුරන විට, ආහාර පිසින විට, ආහාර බෙදන විට එයට තුන්වරක් වැන්දේ කෘතවේදිත්වය සඳහායි. ආහාර පිසූ බඳුන බිඳුන පසු ද විසි කළේ නැත. ගෙයි පිළිකන්නේ මුනින් අතට හරවා තැබිණි. සිසුහු තමා ඉගෙනගන්නා පොත ගන්නා විටත්, යළි තබනවිටත් ඊට වැන්දාහ. මේ කිසිවක් නිසා නොව තම කෘතවේදිත්වය හා කෘතඥතාවය පදනම්කොට ගෙන ය.

අටලෝ දහමෙහි වටිනා පැත්ත අත්පත් කරගන්නටත් නොවටිනා පැත්ත බැහැර කරන්නටත් මහ තරගයක නිරත ඇතැම් මිනිසා කෘතවේදිත්වය හා කෘතඥතාවය අමතක කර ඇත. මේ නිසා විෂම, සමාජයක් බිහිව ඇත. ඒ නිසා අප ජීවත්වන සමාජය තුළ අවුල් වියවුල් වලින් යුතු හිංසාකාරි සමාජයක් වී ඇත. මෙය වෙනස් කළ හැක්කේද අපටයි. බුදු ගුණ අගයමු. බුදුබණ පිළිපදිමු. අපි යහපත් මිනිස්සු වෙමු. යහපත් සමාජයක් බිහි කරමු.

කැප්පෙටිපොල, පාලුගම, ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිකාරි, වැලිමඩ ගුරු මධ්‍යස්ථානයේ ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්ය විල්ඔය පඤ්ඤාතිලක හිමි - Budusarana - 2013 ක් වූ මැයි 9 වන බ්‍රහස්පතින්දා