Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

තමාගේ ඔලොගුවට මල්ලට ධාර්මික පිරිසිදු වස්තුව දමා ගන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රවිෂ්ඨවීමයි

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි

තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි. ඒ කල්‍යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය හා ධම්මානුධම්ම පටිපදාවයි. මෙයින් අද අපි සාකච්ඡා කරන්නේ කල්‍යාණ මිත්‍රයා සම්බන්ධවයි.

ගෞරවණීය ස්වාමින් වහන්ස, සෝතාපත්ති අංගයන්ගේ පළමු අංගය වන කල්‍යාණ මිත්‍ර සේවනය යනු කුමක්දැයි පහදා දෙන්න.

නිවන්මග තුළ ගමන් කරන්නට බලාපොරොත්තු වන කෙනෙක් විසින් පළමුව ඇතිකරගත යුතු සුදුසුකම් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම නිර්වාණගාමි ප්‍රතිපදාවේ පළමු පියවර වන සෝතාපත්ති අංගයන්ගේ පළමු පියවර වන සෝතාපත්ති ඵලයට පත්වන්නට නම් ඒ පුද්ගලයා තුළ තිබෙන්න ඕන ලක්ෂණ හතරක් තිබෙනවා. ඒවා කියන්නේ සෝතාපත්ති අංග කියලා.

මේ සෝවාන් වන පුද්ගලයෙක් තුළ තිබෙන ලක්ෂණ වලින් පළමු එක තමයි කල්‍යාණ මිත්‍ර සේවනය. කල්‍යාණ මිත්‍රයා කියන්නේ ඕනෑම දුකකදී සැපකදී ළඟ ඉන්න, ඕන දෙයකට උදව් කරන, නරක වැඩකට හෝ අතහිත දෙන පුද්ගලයා නොවේ.

ඒ වගේම සමහර අය කියනවා මගේ යාලුවා අන්‍යාගමිකයෙක් වුණත් හොඳ කල්‍යාණ මිත්‍රයෙක් කියලා. ඒකත් වැරැදියි. අන්‍යාගමිකයන්ට බුදුදහමේ පෙන්වාදෙන කල්‍යාණ මිත්‍රයා වෙන්න බැහැ. බෞද්ධ කියන නමට සුදුසු ලෙස හැසිරෙන අයට පමණයි කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්.

කල්‍යාණ මිත්‍රයාගේ ලක්ෂණ මොනවාද?

මෙතැනදී තථාගතයන් වහන්සේ කරුණු හතරක් අවධාරණය කොට වදාළා. පළමුඑක තමයි ඔහු ශ්‍රද්ධාවන්තයි. තමන් ශ්‍රද්ධාවන්ත වෙමින් අන් අයද ශ්‍රද්ධාවට නැඹුරු කරනවා. ශ්‍රද්ධාව කියන්නේ් තුණුරුවන් කෙරෙහි අවබෝධයෙන් ඇතිකර ගන්නා පැහැදීමයි. විශ්වාසයයි. සමහර අය ඉන්නවා තමා ශ්‍රද්ධාවෙහි ඉන්නවා. නමුත් අනෙක් අය එයට යොමු කිරීමක් කරන්නේ නැහැ. දෙවැන්න තමා කල්‍යාණ මිත්‍රයා සීල ගුණයෙන් යුක්තයි. කය වචනය හික්මවා වැඩ කරනවා වගේම අනෙක් අයත් සීලයෙහි හික්ම වෙනවා.

සමහර අය ඉන්නවා තමා විතරයි දන් දෙන්නේ. අනෙක් අයව සහභාගි කර ගන්නේ නැහැ පින තනිවම කර ගන්නවා. නමුත් වැඩි පිරිසක් එකතු කරගෙන පින කරන තරමට තමයි පරිවාර සම්පත්තිය උදා වෙන්නේ. පින් කියන දේ බෙදා හරිනවිට වැඩි වෙනවා. කල්‍යාණ මිත්‍රයා තමන් දෙනවා වගේම අනිත් අයටත් දීම පුරුදු කරනවා.

ඊළඟට කල්‍යාණ මිත්‍රයා සම්මා දිට්ඨියෙන් යුක්තයි. අනෙක් අයවත් සම්මා දිට්ඨියට නැඹුරු කරනවා. සම්මා දිට්ඨියේ අංශ දෙකයි. එකත් දසවස්තුක සම්මා දිට්ඨිය. එයට කියනවා කම්මස්සකථා සම්මාදිට්ඨිය කර්මය ස්වකීය කරගත් දෘෂ්ඨියෙන් ජීවත්වෙනවා කියන එකයි. අනෙක් සම්මාදිට්ඨිය චතුසච්ච සම්මාදිට්ඨිය. ඒ කියන්නේ චතුරාර් සත්‍ය ධර්ය පිළිබඳව ඇති දැක්ම. මේ ලෝකය දුක් සහිතයි. මේ දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැතිකළොත් දුක නැති වෙනවා. ඒ තණ්හාව නැති කරන්නනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න ඕන කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුවත් වෙන එක තමයි. චතුසච්ච සම්මා දිට්ඨිය කියන්නේ.

කල්‍යාණ මිත්‍රයා සිටින්නේ බෞද්ධයන් අතර පමණක්ද?

මේ ලෝකයේ එදා මෙදා තුළ පහල වූ අසහාය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ලෝකයේ පහළ වුණේ නැත්නම් ලෝකයට ශ්‍රද්ධාවක් පහළ වන්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර සේවනය කියන්නේ් මේ බුද්ධ, ධම්ම, සංඝ කියන තුණුරුවන් ඇසුරු කිරීමයි.

තුණුරුවන් කෙරෙහි අවබෝධයෙන් ඇතිකර ගන්නා පැහැදීම, විශ්වාසය අවබෝධය තමයි ශ්‍රද්ධාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. එහෙම සම්මා සම්බුද්ධත්වයට පත්වූ බුදුරජාණන් වහන්සේ ධර්මය අනුගමනය කර ධර්ම මාර්ගයේ ගමන් කළ උතුමන් වහන්සේලා ඉන්නවා කියා විශ්වාසය කරලා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට පෙළෙඹෙන කෙනා තමා ශ්‍රද්ධාවන්තයා. එතකොට ශ්‍රද්ධාවන්තයා බෞද්ධයෙක්. බුදුරජාණන් වහන්සේ ශාස්තෘත්වයේ පිළිගන්නවා නම් ඒ තැනැත්තා බෞද්ධයෙක්. එතකොට කල්‍යාණ මිත්‍රයා ළඟ තිබෙන ප්‍රථම ලක්ෂණය ශ්‍රද්ධාව නම් හැබෑ ශ්‍රද්ධාව තිබෙන්නේ බෞද්ධායාට පමණයි. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න පු‍්‍රළුවන් බෞද්ධයෙකුම පමණයි.

හැබෑ කල්‍යාණ මිත්‍රයා තමා ශ්‍රද්ධාවෙහි පිහිටනවා වගේ තමා ඇසුරු කරන අයටත් තුණුරුවන් කෙරෙහි ප්‍රසාදය ඇති කිරීමට මහන්සි ගන්නවා. ඒක තමයි කල්‍යාණ මිත්‍රත්වයේ වටිනානකම. අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අයටයි බෞද්ධයා කියන්නේ. එහෙම අයට තමයි කල්‍යාණ මිත්‍රයන් කියන්නේ. හැබැයි අන් ආගම්වල හොඳ යාලුවෝ ඉන්න පු‍්‍රළුවන්. සත්පුරුෂයෝ ඉන්න පුළුවන්. ගුරුවරුන්ට වැඩිිහිටියන්ට සලකන කර්මකර්ඵල විශ්වාස කරන හොඳ යාලුවෝ ඉන්නවා. හැබැයි කල්‍යාණ මිත්‍රයා ඉන්නේ මේ ධර්මය තුළ පමණයි.

ඒ වගේම කල්‍යාණ මිත්‍රයා පි‍්‍රයශීලි පුද්ගලයෙක් වෙන්න ඕන. අඳීන පළඳින ක්‍රමය, කථාබහ කරන ක්‍රමය, ඇවතුම් පැවතුම් අනුව කල්‍යාණ මිත්‍රයා පි‍්‍රයශීලි පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම ඔහු අනෙක් අයගේ ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙනවා. ඔහුගේ පැවැත්ම නිරහංකාර වෙනවා. ඒ වගේම ව්‍යක්ත වෙන්න ඕන. ව්‍යක්ත වෙනවා කියන්නේ අනෙක් අයට තේරුම් යන ආකාරයට කරුණු පැහැදිලි කරන්න පුළුවන්කම. ඉවසන සුළු කෙනෙක් වෙන්න ඕන. අනෙක් පිරිස වචනයෙන් නො ගැලපෙන දේවල් කරන්න පුළුවන්. හිස් වචන කතාකරන්න පුළුවන්. දොස් නගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී කල්‍යාණ මිත්‍රයා කුපිත වෙන්න හොඳ නැහැ. වචනය ඉවසීම පුරුදු කරන්න ඕන.

ඊළඟට සරල තැනින් පටන් ගෙන ක්‍රමයෙන් ගැඹුරුට යන ලෙස ධර්මය කියා දෙන්න ඕන. එයට කියනවා ගම්භීරංච කතංකත්වා කියලා. ඒ වගේම අනෙක් පිරිස වැරැදි පාරවල් වල යොදවන්න හොඳ නැහැ. වැරැදි මානසිකත්ව තියෙන පුද්ගලයන් හමු වෙන්න පුළුවන්. ඒ වගේ අය දිහා සානුකම්පිතව බලන්න පුළුවන් වෙන්නේ කල්‍යාන මිත්‍රයාට පමණයි.

කල්‍යාණ මිත්‍රයා නිවන් මගේ උපකාර වන්නේ කොහොමද?

ඇත්තටම කල්‍යාණ මිත්‍රය සම්පත්තිය සෝතාපන්න අංග අතර පළමු කාරණය ලෙස දැක්වූයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නැත්නම් අපට මේ නිවන් මාර්ගයේ දිගටම ගමන් කරන්න බැහැ. ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමැති කල්‍යාණ මිත්‍රයා පහල වූයේ නැත්නම් ධර්මයක් ලොවට පහළ වන්නේ නැහැ. එනිසා අනිවාර්යෙන්ම ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් තියෙන්න ඕන. නිවන් මගේ ගමන් කිරීම තනියම කරන්නට බැහැ. ඔහුට කල්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුර මඟ පෙන්වීම තියෙන්නට ඕන. අපට ඒ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඒ තමයි අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා සද්ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් කාලයක අපි ඉන්නේ. උන්වහන්සේ දේශනා කළේ ධර්මය ශාස්තෘන් කර ගන්න කියලයි. ඒ ධර්මය නමැති කල්‍යාණ මිත්‍රයා අද අපිට ඉන්නවා. එනිසා නිවනේ ස්ථාවර වීමට කල්‍යාණ මිත්‍ර සේවනය අපට අත්‍යවශ්‍යයි.

සාකච්ඡා කෙළේ නයනා නිල්මිණි

රාජ්‍ය වර්ෂ 2012 ක් වූගෝස්තු 01 වනදා බදාදා - ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින   බුදුසරණ